Sunday, January 1, 2017

Written on

ලෝකය 2017 පිළිගනී


සැමෝවා - ටොන්ගා සහ කිරිබතී යන පැසිෆික් දිවයින් ග්‍රිනිච් වේලාවෙන් ඊයේ දහවන පැයේ සිට නව අවුරුදු උදාව සැමරූ අතර, එතැන් සිට ලොව ප්‍රධාන නගර රැසක්ම මේ වනවිට එළඹුණු 2017 වසර පිළිගෙන තිබෙනවා.  

ප්‍රධාන නගරයක් ලෙස 2017 මුලින්ම පිළිගත්තේ නවසීලන්තයේ  ඕක්ලන්ඩ් නුවරයි. 

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වරාය ආශ්‍රිතව ඉන් පසුව පැවැත්වුණේ නව වසරේ චමත්කාර ජනක පිළිගැනීමක්. 

සිඩ්නි ඔපෙරා රඟහලද ඇතුළත්ව පැවති ගිනිකෙළි සංදර්ශන දෙකක් සඳහා ටොන් හතක ගිනි කෙළි දැල්වූ අතර එය නැරඹීමට මිලියන 1.5 ක පමණ ජනකායක් එක්වුණා. 

රුසියාවේ මොස්කව්, ජර්මනියේ බර්ලින් සහ ප්‍රංශයේ නීස් නගරවල නව අවුරුදු පිළිගැනීම උත්කර්ෂවත් ලෙස සිදුවූ බව සඳහන්. 

ප්‍රංශයේ පැරිස් සහ ඇමරිකාවේ නිව්යෝක් නගරවල නව අවුරුදු සැමරුම් සිදුවූ නගර චතුරශ්‍රයන් වෙත පිවිසීම කොන්ක්‍රීට් බාධක සහ බර වාහන යොදා සීමා කර තිබුණේ ආරක්ෂක පියවරක් වශයෙන්. 

ඩුබායි හි පිහිටි ලොව උසම ගොඩනැගිල්ල වන බර්ජ් කලීෆා ගොඩනැගිල්ලේ සුප්‍රකට ගිනිකෙළි සංදර්ශනය නැරඹීමට විශාල පිරිසක් රොක්වී සිටි බව විදෙස් වාර්තා සඳහන් කළා.